Abstract:
ලොව දියුණු නොදියුණු මානව සමාජයන්හි සංස්කෘතික අනන්‍යතාවේ එක් සුවිශේෂ පැතිකඩක් නර්තනයට හිමි වේ. දියුණු සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේද වර්තමානයේ ප්‍රචලිත සාම්ප්‍රදායික නර්තන කලාව මෙන්ම එම සම්ප්‍රදායන්ට පූර්ණ වශයෙන්ම වෙනස්වූ ඉපැරණි නර්තන කලාවක් මහනුවර යුගයට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව පැවති බවට සාධක හමුවේ. එසේ වුවද මහනුවර යුගයට පෙර ශ්‍රී ලංකාවේ පැවති නැටුම් ක්‍රම කවරේද? යන්න පිළිබඳ නිසි අවබෝධයක් අප සතු නොවේ. මෙයට හේතුව වන්නේ මහනුවර යුගයේදී සහ ඊට පෙර යුගවලදී ශ්‍රී ලංකාවේ පැවති නැටුම් කලාවේ ආකෘති හා ශෛලි පිළිබඳව මෙන්ම වාදන විලාස පිළිබඳව සිදුකළ ශාස්ත්‍රීය අධ්‍යයනවල හිඟතාවයි. අනුරාධපුර යුගයෙන් පසු එළඹෙන ක්‍රි:ව 1017 - ක්‍රි:ව 1236 කාල පරිච්ඡේදයට අයත් පොළොන්නරු යුගයේදී ඉතා දියුණු ලෙස ව්‍යාප්තවූ නර්තන කලාවක් පැවති බව හා එම නර්තනය දකුණු ඉන්දියාවේ ප්‍රචලිත දාසි ආට්ටම් ශෛලියට සමානත්වයක් දරන බවට ඓතිහාසික මූලාශ්‍රය සාධක සපයයි. පොළොන්නරු යුගයට අයත් පොළොන්නරු කෞතුකාගාරයෙන් හමුවන ශිව ප්‍රතිමාව, දැදිගම සූතිඝර චෛත්‍යයෙන් හමුවූ ඇත් පහනේ රූකම්, හැටදාගේ පිටත බිත්තියේ ඇති රූකම්, ලංකාතිලක විහාරය හා නිශ්ශංක ලතා මණ්ඩපයට අයත් රූකම් වෙන් වෙන් වශයෙන් ගත්කල මෙම සෑම මූලාශ්‍රයකම ශෛලිය දක්ෂිණ භාරතීය දාසි නර්තනයේ චලනයන්ට අත්‍යන්තයෙන්ම සමානය. දාසි ආට්ටම් නොහොත් භරත නාට්‍යම් ශෛලියේ නිරූපිත චාරී හා ස්ථානක භේද මෙන්ම නර්තනයේ භාවාත්මක ගුණය මෙම මූලාශ්‍රයන්හි මොනවට නිරූපිතය. මෙම පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රධාන අරමුණ වනුයේ පොළොන්නරු යුගයට අයත් රූකම් හා මූර්තිවල චලනමය ගුණය ප්‍රතිව්‍යුහගත කිරීමය. තත් යුගයට අයත් සංස්කෘතිකමය සංසිද්ධි ප්රතිනිරූපණාත්මක මෙම මූලාශ්‍රය පුළුල්ව අධ්‍යයනය කරමින් රංග වින්‍යාස මූලධර්ම ගණනාවක් භාවිතයට ගනිමින් අතීත නර්තන කලාවක ස්වරූපය නිර්මාණ කෘතියක් එළි දැක්වීමට මෙමගින් අපේක්ෂිතය. එය ඉපැරණි නර්තනයේ අනන්‍යතාව සුරක්ෂිත කරන නව දිශානතියක් වනු නොඅනුමානය.