Abstract:
මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ කාන්තා මනෝරෝග පිළිබඳව ජාතක පොතෙහි හා පේතවත්ථු පාළියෙහි සඳහන් වන ආකාරය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කිරීමය. මේ සඳහා ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය උපයුක්ත කරගනිමින් ගුණාත්මක ක්‍රමය ඔස්සේ විමර්ශනය සිදු කිරීමට අපේක්ෂා කෙරේ. කාන්තාවන්ට විශේෂ වූ මානසික ගැටලු හා රෝග වශයෙන් ආර්තවය හා බැඳුණු
මනෝසමාජීය ගැටලු, කන්‍යාභාවය පිළිබඳ මනෝසමාජීය ගැටලු, පෙර ආර්තව ආතතිය, කාන්තාවන්ට විශේෂ භීතිකා, පසු ප්‍රසව විශාදය, පසු ප්‍රසව සයිකෝෂියාව, මඳසරුභාවය, කාන්තා මනෝලිංගික ගැටලු, ලිංගික ඊර්ෂ්‍යාව යනාදි වශයෙන් රැසක් හඳුනාගත හැකිය. මෙම පර්යේෂණයෙහි පරාසය සීමා කරනු වස් මා විසින් විමසුමට ලක්කරන්නේ බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වන හා ලාංකික සංස්කෘතියෙහි හමුවන කාන්තා මනෝරෝග පිළිබඳවයි. දෙස් විදෙස් ලේඛක ලේඛිකාවන් අතින් කාන්තා රෝග පිළිබඳ ජීව විද්‍යාත්මක හා කාන්තා මනෝරෝග පිළිබඳ පොත්පත්, ලිපි ලියැවී තිබුණද කාන්තා මනෝරෝග පිළිබඳ බෞද්ධ මූලාශ්‍රයන්හි ඇතුළත් ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුවී නොමැත. ක්‍රි. පූ. හතරවන සියවසේ දී හිපොක්‍රටීස්ගේ වෛද්‍ය ලේඛනවල කාන්තා මනෝරෝග පිළිබඳ සඳහන් වෙයි. බටහිර මනෝවිද්‍යාවේ සඳහන් වන කරුණුවලට වඩා පැරණි ඉතිහාසයක් පවතින බෞද්ධ මූලාශ්‍රයනට අයත් වන ඛුද්දක නිකායෙහි අන්තර්ගත ජාතක පොතෙහි හා පේතවත්ථු පාළියෙහි කාන්තා මනෝරෝග පිළිබඳව ඇතුළත්ව ඇති බව ජද්දන්ත ජාතකය, චුල්ලධම්මපාල ජාතකය, සම්බුලා ජාතකය යනාදි ජාතක කතාවන්හි හා පේතවත්ථු පාළියේ පඤ්චපුත්තඛාදක හා සත්තපුත්තඛාදක වස්තූන්හි කාන්තා මනෝරෝග පිළිබඳ විශ්ලේෂණය කිරීම සිදුවිණි. එහිදී සම්බුලා දේවිය හා චුල්ල සුභද්‍රාව, චාපා යනාදි කාන්තා චරිත හමුවන අතර ඔවුන්ට ඇති වූ සපත්නිරෝෂය, ලිංගික ඊර්ෂ්‍යාව (Sexual Jealousy), මූඪගර්භභාවය හෙවත් පූර්ව ප්‍රසව සයිකෝසියාව (Prenatal Psychosis), වැදූගේසන්නිය හෙවත් පසු ප්‍රසව සයිකෝසියාව (Postpartum Psychosis) යනාදි කාන්තා මනෝරෝග පිළිබඳ සඳහන් වේ. ජාතක පොතෙහි හා පේතවත්ථු පාළියෙහි කාන්තා මනෝරෝග හා එයට හේතු මෙන්ම ප්රතිකාරද ඇතුළත් බව මෙම පර්යේෂණාත්මක අධ්‍යයනයෙන් නිගමනය කළ හැකිය.