Abstract:
ශිෂ්ටාචාරයේ සමාරම්භයේ සිටම මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම කලාවන්ගෙන් උකහාගත් ලක්ෂණයන් කැටි කරගත් ලෝකයේ පවත්නා ප්‍රබලම කලා මාධ්‍යය බවට පත්ව ඇති සිනමාපට ලොවට දායාද වී මේ වන විට සියවසකට වඩා කාලසීමාවක් ගතවී ඇත. සිනමාපට එයටම සුවිශේෂ වූ අනන්‍යතා ඇති කර ගනිමින් 1890 දශකයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වීම සිදු විය. සෙන් බුදු දහමින් හා ෂින්තෝ ආගම මඟින් හික්ම වූ ආසියාවේ ප්‍රබලම රාජ්‍යයක් සේ සැලකෙන ජපානයට චිත්‍රපට කලාව අත්විඳීමේ භාග්‍ය හිමිවන්නේද සිනමාවේ මුල් අවධියේදීමය. කබුකි නාට්‍යයන්වල ඇතැම් කොටස් රූගත කිරීමෙන් ජපානයේ පළමු චිත්‍රපටය බිහි වූ අතර එය ජපන් සිනමාවේ ඓතිහාසික සන්ධිස්ථානයකි. ඒ අයුරින් බිහි වූ ජපන් සිනමාවේ මහා සිනමාවේදීන් වන කුරසෝවා අකිරා, යසුජිරෝ ඕෂු නිර්මාණකරුවන්ගේ සුවිශේෂ දායකත්වය මෙන්ම ඔවුන්ගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ අරමුණයි. මෙහිදී කුරසෝවා අකිරා ඔහුගේ නිර්මාණ මුවහත් කර ගැනීම සඳහා බටහිර සිනමාව යොදාගත් අතර යසුජිරෝ ඕෂු බටහිර සිනමා සිත්තම් මඟින් ගත් ආභාසය දේශීය ජපන් සිනමාවේ පිළිබිඹු කිරීමට උත්සාහ කරන ලදී. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත හා ද්විතීයික දත්ත මෙන්ම තෘතීය දත්තද භාවිත කරයි. ප්‍රාථමික දත්ත සපයාගැනීමේදී අදාළ සිනමා නිර්මාණකරුවන්ගේ සිනමා කෘති පරිශීලනයෙන් හා සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් තොරතුරු සපයාගත් අතර, ද්විතීයික දත්ත ලබාගැනීමේදී දේශීය මෙන්ම විදේශීය ග්රන්ථ, වාර සඟරා පරිශීලනය කරන ලදී. තෘතීයික දත්ත සපයා ගැනීමේදී මූලික වශයෙන්ම අන්තර්ජාලය හා පුවත්පත් ඒ සඳහා භාවිත කෙරිණ. මේ සඳහා යෝජිත පර්යේෂණ ක්‍රමවේද වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ශාස්ත්‍රවේදී විශේෂ උපාධියේ තෙවන වසර සහ සිව්වන වසර සිසුන් 100ක නියැඳියක් ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය මඟින් තොරතුරු රැස් කිරීමට බලාපොරොත්තු වේ. තෝරාගත් සිනමා කෘති කිහිපයක් ඇසුරෙන් අදාළ සිනමාකරුවන් දෙදෙනාගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් තුලනාත්මකව සංසන්දනය කිරීම මෙහි අරමුණ වේ.