Abstract:
භාෂාව වූකලී මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය සොයා ගැනීමකි. එදා-මෙදාතුර විශ්වීය මානවයා අතර අවියෝජනීය සබඳතාවක් ඇති වූයේ හුදෙක් භාෂාව කරණ කොටගෙන බැව් සත්‍යයකි. ඕනෑම දේශයක ඊටම ආවේණිකවූ සම්මත භාෂාවක් පවතින අතර එහිම දේශගුණික, පාරිසරික, භූගෝලීය සාධක මත ගොඩනැඟුණු තවත් භාෂා අනු ප්‍රභේද පවතී. ඒවා උපභාෂා නමින් හැඳින්වේ. උපභාෂා තුළද අනු ශානරද පවති. එනම් ප්‍රදේශීය උපභාෂා, සමාජීය උපභාෂා, ප්‍රාස්තාවික උපභාෂා, පරිමිත භාෂා යනුවෙනි. මෙම උපභාෂා සම්මත භාෂාවෙන් වෙනස්ව තත් ප්‍රදේශීය සීමාව තුළ භාවිත කරයි. එහෙත් හඳුනාගත නොහැකි තරමට සම්මත භාෂාවෙන් දූරස්ථ නොවේ. මෙහි මූලික අරමුණ වන්නේ ඌව පළාත් උපභාෂා සහ සත්කෝරළේ උපභාෂා දුරාතීතයේ සිට මේ දක්වා ක්‍රමිකව විකාසනය වූ ආකාරය අධ්‍යයනය කිරීමයි. එමෙන්ම අද්‍යතනයේදී එහි ව්‍යවහාරයන් කෙබඳුද යන්න ගවේෂණය කිරීමත් මෙම උභය උපභාෂා අතර වර්තමානයේදී විද්‍යමාන වන සමවිෂමතා තුලනාත්මකව ගවේෂණය කිරීමත් අරමුණු වේ. එහිදී පර්යේෂණ සීමාව ලෙස අප දෙදෙනාගේ ජාත භූමීන්වූ ඌව පළාත සහ වයඹ පළාත කේන්ද්‍රීයව පර්යේෂණ කටයුතු සිදුකිරීමට අපේක්ෂිතය. අද්‍යතනයේ මෙන් නාගරීකරණයට ලක් නොවූ දුරාතීතයේ ප්‍රදේශීය උපභාෂා ඒ ඒ ප්‍රදේශයටම ආවේණිකව පැවතියමුත් විශ්ව ගම්මාන සංකල්පය තුළදී එසේ නොවේ. එහෙත් හඳුනාගත හැකි සමවිෂමතා අද්යතනයේදීද ප්‍රදේශීය වශයෙන් පවතී. අතීතයේදී භාවිත වූ ඇතැම් ප්‍රදේශීය ව්‍යවහාරයන්හි අර්ථය වර්තමානයේදී ඊට හාත්පසින්ම වෙනස් අර්ථ ගෙන තිබේ. අතීතයේ භාවිතවූ ඇතැම් ව්‍යවහාර වර්තමානයෙන් ගිලිහී ගොස් තිබේ. සම්මත භාෂාව සේම උපභාෂාවන්ද කාලානුරූපීව වෙනස්වීම එහිලා හේතුවී තිබේ. එහෙත් ඒ ඒ ප්‍රදේශීය උපභාෂා ක්ෂණයකින් හඳුනාගත හැකි අනන්‍යතාවක් ප්‍රදේශීය වශයෙන් ශේෂව පැවතීමද සුවිශේෂය. ප්‍රශ්නවාචී ‘ද‘ කාරය භාවිත නොකිරීම වර්තමානයේද ඌව ජනවහරේ පවතින්නකි. නිදසුන් ලෙස ඔයා මොනා කරන්නේ? (ඔයා මොනවද කරන්නෙ?), ඔයා කෑවා? (ඔයා කෑවද?), කොහේ ගියේ? (කොහෙද ගියේ?) පෙන්වාදිය හැකිය. සත්කෝරළේද අදටද නොවෙනස්ව භාවිත වන ව්‍යවහාර පවතී. බ්රාහ්මීය අක්ෂරවල සිට නූතනය දක්වා ක්‍රමිකව විකාසයවූ සිංහල භාෂාව අනාගතයේදී මීට වඩා වෙනස් ස්වරූපයක් ගනු ඇත.