Abstract:
එකම රටක වුවත් විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනයා විවිධ භාෂා භාවිත කරන අතර සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මේ එකම භාෂාවේ වුවත් විවිධ වෙනස්කම් තිබේ. අපේ රටේ බහුතරයක් ව්‍යවහාර කරන්නේ සිංහල භාෂාවයි. නමුත් ඇතැම් විට එක් එක් ප්‍රදේශවල ජනයා භාෂාව භාවිත කරන විට සිංහල භාෂාවේම වුවත් වෙනස්කම් තිබේ. මේ වෙනස්කම් භාෂාවේ ප්‍රදේශීය ව්‍යවහාර යනුවෙන් දැක්වේ. මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් වන්නේ යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීමයි. දකුණු පළාතේ ව්‍යවහාර භාෂාව කියූ කල ඕනෑම අයෙකු දනී. එම උපභාෂාව අපේ රටේ තිබෙන අනෙකුත් උපභාෂාවන්ට සාපේක්ෂව හාත්පසින් වෙනස්වූ ව්‍යවහාරයන්
දක්නට ලැබෙන අතර එම පළාතේම නගරයක් වන මාතර ප්‍රදේශයේ ව්‍යවහාර වන උපභාෂාවද විශේෂ වූ ව්‍යවහාරයන් රැසක් තිබෙන්නට ඇතැයි කෙනෙකුට සිතිය හැකිය. එය සත්‍යයකි. මෙම නිබන්ධනයෙන් ඒ බව පැහැදිලිව ඉදිරිපත් කරන අතර ඕනෑම අයෙකුට එය විනෝදජනකව ඉතා රසවත්ව අධ්‍යයනය කරන්නට හැකියාව ලැබෙනු ඇත. එසේම වාග්විද්‍යාත්මක ඒකක වන ශබ්ඳිම, පදිම, වචන, වාක්‍ය, අර්ථ යන ආදිය මාතර ජනවහර තුළ කෙසේ භාවිත කර ඇත්ද යන්න විමසා බැලීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. මාතර ජනවහර උපභාෂාවන්ගෙන් එක් උප භාෂාවකි. එම උපභාෂාවන්ගෙන් මාතර නගරය තුළ ව්‍යවහාරිත භාෂාවේ වාග් විද්‍යාත්මක ස්වරූපය කෙසේද යන්න විමසා බැලීම මෙහි පර්යේෂණ ගැටලුව වේ. මේ සඳහා අවශ්‍ය දත්ත රැස්කර ගැනීමේදී ප්‍රාථමික මූලාශ්‍රය ලෙස මාතර නගරයේම උපන් ස්ථිර පදිංචි එම ප්‍රදේශයේම හැදුණු වැඩුණු වෙනත් උපභාෂාවල බලපෑමට හසු නොවූ භාෂකයෙකු තෝරා ගෙන ඔහුගෙන් ස්වාභාවික දත්ත ලබා ගෙන අනතුරුව එම දත්ත විග්රහ කොට එම දත්තවල සත්‍ය බව තහවුරු කර ගැනීමට තවත් එබඳුම භාෂකයන් කිහිප දෙනෙකුගේ දත්ත ලබාගෙන ඒවා හා සසඳා එම දත්ත මඟින් සන්නිවේදන කිරීමෙහිලා බහුලව උපයෝගී වන්නා වූ භාෂණ සන්නිවේදන කොටස් පමණක් මෙම පර්යේෂණයට පාදක කර ගැනේ. ද්විතීයික මූලාශ්‍රය ලෙස මෙම නිබන්ධනයට අදාළ කෘති, නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා ආදිය භාවිත කෙරේ.