Abstract:
ධනය යනු මානව සංහතියේ දුප්පත් පොහොසත් බව තීරණය කරනු ලබන මිනුම් දණ්ඩකි. බලයේ සංකේතයකි. එවන් වූ ආකාරයකට සමාජ තත්වය මනින ධනය මනා ලෙස නිසි අයුරින් කළමනාකරණය කිරීම පුද්ගල දියුණුවෙහි රහසක් වන අතර නිසි අයුරින් ධනය කළමනාකරණය කර නොගැනීම පුද්ගල පරිහානියේ මූල බීජයයි. ඈත අතීතයේ ධනය පිළිබඳ එතරම් තැකීමක් නොකළද වර්තමාන තත්වය උඩු යටිකුරු ස්වරූපයක් ගන්නා බව ඉතා ප්රබල කරුණකි. බුදුරජාණන් වහන්සේ එදාටත් අදටත් අනාගතයටත් ගැළපෙන අයුරින් ධන කළමනාකරණය පිළිබඳ ඉගැන්වීම් සිඟාලෝවාද, ව්යග්ඝපජ්ජ, පරාභව, අණන, මංගල ආදි සූත්රවලින් පෙන්වාදී ඇත. මා විසින් මෙම පර්යේෂණය සිදු කිරීමට මූලාශ්රය කරගනු ලබන්නේ මෙම බෞද්ධ සූත්රයන්ය. එදිනෙදා ජීවිතයේදී පුද්ගලයාට මුහුණ දීමට ලැබෙන ආර්ථික, ආගමික, සමාජීය, දේශපාලනික ගැටලු බොහෝමයකට හේතුව ලෙස ධනය නිසි අයුරින් කළමනාකරණය කර නොගැනීම පෙන්වා දිය හැකිය. බඹරෙකු මලට හානි නොකර රොන් ගන්නා සේ දැහැමිව උපයන ධනය එදිනෙදා පරිභෝජනයටත්, ආයෝජනයටත්, ඉතිරි කිරීමටත්, හුරුවිය යුතු බව පෙන්වා දෙන බුදු දහම නිකරුණේ මුදල් වැය නොකළ යුතු බවත් එසේ සිදු කරයි නම් එම පුද්ගලයාගේ ධනය විනාශ වී පරිහානියට පත් වන්නේ ඇස් ඉදිරිපිට පෙනෙන මානයේදී බව බුදුන් වහන්සේ පෙන්වාදී ඇත. අද සමාජයේ බොහෝ පිරිසක් ධනය තුළින් මානසික තෘප්තියක් ලබන්නේ නැත. කොතරම් විශාල ධනස්කන්ධයක් ගොඩ ගසා ගත්තද එම ධනය පරිභෝජනය නොකර රැස් කිරීම පමණක් කිරීම තුළින් තද බල ආශා හිර කරගනිමින් තණ්හාව පොදි බඳින “අදින්නපුබ්බක” වැනි පිරිස් මෙලොව පරලොව දෙලොවම පිරිහෙන පිරිසක් ලෙස පෙන්වා දිය හැකිය. මේ අනුව යාවත්කාලීන ආර්ථික ගැටලුවලට හොඳම විසඳුම නිසි ධන කළමනාකරණය බවත් නිවැරදිව ධනය කළමනාකරණය කර ගැනීමට බෞද්ධ ඉගැන්වීම් ඇසුරු කරගත හැකි බව මෙම ලිපිය අනුව පැහැදිලි වන කරුණු කීපයකි.