Abstract:
ශ්‍රී ලාංකේය සිනමා සංගීතය අනුකාරක රැල්ලකට යොමු වූ යුගයක එයින් සිනමා කලාව මුදවා ගැනීමට කටයුතු කරනු ලැබූ සුවිශේෂ සංගීතඥයෙකු ලෙස කේමදාස හඳුන්වාදිය හැකිය. තමන්ගේම දේශීය අනන්‍යතාවක් සංගීත කර්මාන්තය තුළ ඇති කිරීමට කටයුතු කළ ආචාර්ය කේමදාසයන් සුවිශේෂ නිර්මාණ රාශියක් ලාංකේය සිනමාවට දායාද කරනු ලැබීය. ඔහුගේ ලාංකේය සිනමා සංගීතයේ පෙරළියක් ඇති කිරීමට සමත් වූ නිර්මාණ කිහිපයක් පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලැබූ අතර, එහිදී කේමදාසයන්ගේ බටහිර සංගීතය භාවිතය ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතය නව මානයකට ගෙන යාමට යොදාගෙන ඇත්තේ කෙසේදැයි විමසා බැලීම පර්යේෂණයේ අරමුණ වේ. එහිදී තෝරාගනු ලැබු ගොළු හදවත, බඹරු ඇවිත්, නිධානය, සිරි මැදුර, හංස විලක් යන චිත්‍රපට පහ ඔස්සේ පමණක් කේමදාසගේ බටහිර සංගීත භාවිතාව පිළිබඳ විමසා බලන ලදි. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව වූයේ කේමදාසයන් බටහිර සංගීතය යොදා ගනිමින් ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයේ විප්ලවීය වෙනසක් සිදු කළේද යන්නයි. මෙම අධ්‍යයනය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කරනු ලැබූ අතර, එහිදී පොත්පත් අධ්‍යයනය, විෂය ප්‍රවීණයන් සමඟ සම්මුඛ සාකච්ඡා සිදුකිරීම, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පටිගත කිරීම් ඇතුළත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යයනය සිදුකරන ලදි. මෙම පර්යේෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ සිනමා සංගීතය සඳහා කේමදාසගේ බටහිර සංගීත භාවිතය හේතුවෙන් අනුකාරක ගීත රැල්ලෙන් චිත්‍රපට සංගීතය මුදවා ගැනීමට හැකිවූ බවත්, ශ්‍රී ලාංකේය සංගීතයට අනන්‍ය වූ සංගීත ශෛලියක් ඇතුළත් කළ සංගීතඥයන් අතරට ආචාර්ය කේමදාසයන්ද එක් වන බවත්ය. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ එක් අංශයක් වන සිනමා සංගීතයට ආචාර්ය කේමදාසගෙන් වූ සේවය අපමණය. ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතය අනුකාරක ගීත රැල්ලෙන් මුදවා ගනිමින් සිනමා සංගීතයට වටිනාකමක් ලබා දීමට ආචාර්ය කේමදාසගේ බටහිර සංගීත භාවිතයට හැකිවූ බව මෙම පර්යේෂණයේ නිගමනය වේ.