Abstract:
අතීත ලංකාවේ තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන තොරතුරු අධ්‍යයනයේදී සෙල්ලිපිවලින් ලබා ගත හැකි දායකත්වය සුළු පටු නොවේ. ක්‍රි. ව. දසවන සියවස තරම් ඈත අවධියක ලක්දිව පැවති අපරාධ මර්දන ක්‍රම පිළිබඳව වේවැල්කැටිය පුවරු ලිපිය ඇසුරෙන් සාකච්ඡා කිරීම මින් අපේක්ෂිතය. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ඈත අවධියක පැවති අපරාධ මර්දන ක්‍රම වර්තමාන අපරාධ මර්දන ක්රමයන්ට කෙතරම් උචිත දැයි විමර්ශනය කිරීමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැන්දෑකෝරලයේ පහළ කැන්ද තුළානට අයත් වේවැල්කැටිය ග්‍රාමයෙහි පිහිටුවා ඇති මෙම ලිපිය පැතලි ගලක් මතුපිට දික් අතට රූල් ගසා පේළි හතලිස් හයකට කොටා ඇත. හතරවන මිහිඳු රජුගේ රාජ්‍ය කාලයෙහි පිහිටුවා ඇතැයි සැලකෙන මෙම පුවරු ලිපිය ඓතිහාසික වශයෙන් වැදගත් වනුයේ එවකට ලක්දිව පැවති අපරාධ නීතිය අරබයා අපට ලබාදෙන අවබෝධය හේතුවෙනි. මෙම අධ්‍යයනය සඳහා ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් යොදාගනු ලබන්නේ සෙනරත් පරණවිතාන මහතාගේ සංස්කරණයක් වන Epigraphiya Zelanica volume - 01හි එන වේවැල්කැටිය පුවරු ලිපියෙහි පෙළයි. අපරාධ සම්බන්ධයෙන් විශ්ව සාධාරණ නිර්වචනයක් ඉදිරිපත් වී නොතිබුණද නීතියට හෝ සදාචාරයට පටහැනි ක්‍රියාවන් අපරාධ ලෙසින් පිළිගැනෙන අතර ඇතැම් අවස්ථාවන්හිදී තවත් අයෙකුගේ අයිතිවාසිකම් නිශේධනය කිරීමද අපරාධ වේ. අපරාධය මුළුමහත් සමාජයටම එරෙහිව සිදුකරනු ලබන වරදකි. එම නිසා අපරාධ සිදුකරනු ලැබුවේ යැයි සැලකෙන පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ පුද්ගලයන් විසින් දඬුවම් පමුණුවා එවැනි අපරාධ නැවත ඇති නොවීමට කටයුතු කිරීම අපරාධ මර්දනයයි. වේවැල්කැටිය පුවරු ලිපියට අනුව දසගම නම් පාලන ඒකකයෙහි අපරාධ මර්දනයට බලය පැවරී තිබුණේ දසගම් පාලක සභාවටයි. මනුෂ්‍ය ඝාතනය, ශාරීරික වධහිංසා, සොරකම, මී ගවයන්, එළ ගවයන්, එළුවන් ආදි සත්වයන් ඝාතනය සහ සොරකම මෙම පුවරු ලිපියෙන් හෙළිවන දඬුවම් ලැබිය යුතු ප්‍රධාන අපරාධයන්ය. මෙම අපරාධ මර්දනය සඳහා පනවා තිබූ අපරාධ මර්දන ක්‍රම වනුයේ මරණ දණ්ඩනය, ශාරීරික වධ, හණ ගැසීම, දඩගැසීම හා රාජ සන්තක කිරීම්ය. මෙම දඬුවම් ක්රමයන්හි විශේෂ ලක්ෂණයක් වූයේ අපරාධකරුවන්ට පමණක් නොව පාලන නිලධාරීන් ද ස්වකීය රාජකාරිය නිසි පරිදි ඉටුනොකළහොත් දඬුවම්වලට යටත්වීමට සිදුවීමයි. මෙම එක් එක් අපරාධ මර්දනය කිරීමට ක්‍රියාත්මක කර ඇති දඬුවම් ක්‍රම මඟින් සාධු සම්මත සමාජයක් බිහිකරගැනීමට උත්සුක වී ඇති බව නිගමනය කළ හැකිය.