Abstract:
සූවිසි විවරණ නෘත්‍ය පූජාව හා බැඳි සමාජ සංස්කෘතික පසුබිම හඳුනාගැනීමත් එහි වර්තමාන තත්වය හඳුනාගැනීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ. මානවවංශ පර්යේෂණ යටතට ගැනෙන මෙම පර්යේෂණයේදී පුස්තකාල අධ්‍යයනය හා ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා ක්‍රමය භාවිත කරන ලදි. අප මහා ගෞතම බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුදුවරුන් විසිහතර නමකගෙන් බුදුවීම සඳහා නියත විවරණ ලබාගත් ආකාරය සිහිපත් කරමින් එම සූවිස්සක් වූ බුදුවරයන් වහන්සේලා උදෙසා මල්, පහන්, දැහැත්, ගිලන්පස, බෙහෙත් ද්‍රව්‍ය, පිරිකර, සුවඳ හඳුන් වර්ග ආදිය පූජා කරමින් නෘත්‍ය ගීත වාදන සහිතව කරනු ලබන භක්ති ගීතමය පූජා කර්මයක් ලෙස සූවිසි විවරණය හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ තෙරුවන් විෂයෙහි ශ්‍රද්ධාව භක්තිය වැඩමවීමයි. බුදුරජාණන් පිළිවෙළින් නිවන ලබා ගත් ආකාරය ගද්‍ය පාඨයන්ගෙන් පැහැදිලි කරමින් භික්ෂූන් වහන්සේ ධර්ම දේශනාවෙහි යෙදෙන අතර නර්තන ශිල්පීහු පන්තේරු ගෙන අත් සරඹ දක්වමින් විවරණ විස්තරයෙන් කියැවෙන කවි ගායනා කරත්. විවිධ තිත් මාත්‍රා යොදාගනිමින් විවරණ 24ටම අදාළව කවි ගායනා කරමින් නර්තනය කරනු ලබත්. බෞද්ධාගමත්, සිංහල ගැමි සමාජයත් ඍජුවම සම්බන්ධ වන නර්තන පූජා ක්‍රමය වන්නේ සූවිසි විවරණයයි. මහනුවර යුගයේදී ආරම්භ වී ක්‍රමයෙන් විකාසනය වී ඇති බව ඒ පිළිබඳව කරුණු විමසීමේදී අනාවරණය වේ. දිනක්, දින තුනක්, දින හතක් වශයෙන් රැය පහන් වනතුරු සුවිසි විවරණ පූජා කර්මය සිදු කරනු ලබයි. ලැබී ඇති කාලය අනුව විවරණය ඉදිරිපත් කිරීම අඩු වැඩි වශයෙන් සිදු කරයි. දෙහිමඬුව සහ හලාගිරිය යන පරම්පරාවන් 19වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට සූවිසි විවරණ ක්‍රමය ලක්දිව පුරාම සුලභව පැවැත්වූ කාලයක් විය. පූජාර්ථය පදනම් කර ගනිමින් පැවති සූවිසි විවරණය වර්තමානය තුළත් ඒ අයුරින්ම සිදු වනවාද යන්න අධ්‍යයන ගැටලුවෙහි පිහිටා සිදු කරන ලද පර්යේෂණයකි. වර්තමානය වන විට සූවිසි විවරණ නෘත්‍ය පූජාව දැකගත නොහැකි තරම්ය. ඒ කෙරෙහි වූ ශිල්පීන්ගේ හිඟත්වය මෙන්ම සමාජ වෙනස්වීම්ද මූලික වී ඇත. එය ඉදිරියටත් රැකගැනීමට ප්රයත්න දරන්නේ නම් ඉතා වටිනා සංස්කෘතිකාංගයක් අපට හිමිව තිබෙන බව මෙම අධ්‍යයනයේ නිගමනයයි.