Abstract:
කාරි යාගය ඌව පළාතේ වෙසෙන ගැමි ජනයා අතර ව්‍යාප්තව පවතින අතර හැද්ම යාතුකර්මය ඌව හා ඊට තදාසන්න ප්‍රදේශයන්හි වෙසෙන ආදිවාසී ජනයා අතර ව්‍යාප්තව පවති. ජන කොට්ඨාශ දෙකකට අයත් මෙම යාතුකර්ම දෙක නාම දෙකකින් හැඳින්වුව ද මෙම ශාන්තිකර්මයන්හි පුද ලබන දෙවි දේවතා, යකුන්, යක්ෂණියන්ගේ නාම හා චාරිත්‍ර වාරිත්‍ර සමාන වන බව දක්නට ලැබේ. නාම දෙකකින් හැඳින්වෙන සමාන ලක්ෂණ ප්‍රකට කෙරෙන යාතුකර්මයක් ජනවර්ග දෙකක් අතර පවතින්නේ කෙසේද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. නාම ද්විත්වයකින් හඳුන්වන මෙම යාතුකර්මය අතීතයේ පටන් පැවති සිංහල හා ආදිවාසී ජන සබඳතා මත බිහිවූවක් යන්න මෙම පර්යේෂණයේ උපන්‍යාසයයි. විද්වතුන් ආදිවාසී ජනයා සතුව පවතින හැද්ම ශාන්තිකර්මය පිළිබඳ පර්යේෂණ රාශියක් සිදුකර ඇති අතර ඔවුන් එම හැද්ම යනු ආදිවාසී ජනයාටම අයත් පැරණි ඇදහීමක් ලෙසත්, එම ඇදහීමට අයත්වන සියලු අංග ද අතීතයේ පටන් ආදිවාසී ජනයා අතරේ පැවති බවත් පර්යේෂණයන්හි ප්‍රතිඵල ලෙස දක්වති. කාරි යාගය පිළිබඳ තොරතුරු සඳහන් වුව ද විධිමත් අධ්‍යයනයක් ඒ පිළිබඳ සිදුව නොමැත. මෙම ඇදහීම සිංහල හා ආදිවාසී ජනයා අතර ව්‍යාප්ත වීමට බලපාන ලද සමාජ විද්‍යාත්මක හා ජනශ්‍රැතික පසුබිම හඳුනාගෙන පර්යේෂණ ක්ෂේත්රයට නවමු වූ දැනුමක් එක් කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණ වේ. මානව සංස්කෘතිය මූලික කර සිදු කෙරෙන මෙම පර්යේෂණය උදෙසා මානව වංශවේදී විධික්රමය උපයෝගී කර ගන්නා ලදි. මෙම පර්යේෂණය උදෙසා දත්ත රැස් කිරීමේදී ප්‍රාථමික සාහිත්‍ය මූලාශ්‍රය යටතේ සිංහල හා ආදිවාසී ජනයා සතුව පවතින කාරි යාගය හා සම්බන්ධ පද්‍යාවලි එක් කර ගත් අතර විදේශිකයන්ගේ වාර්තා, ග්රන්ථ ද පරිශීලනය කරන ලදි. ද්විතීක මූලාශ්‍රය යටතේ පොත්, සඟරා, පර්යේෂණ ලිපි අධ්‍යයනය කරන ලද අතර සම්මුඛ සාකච්ඡා හා නිරීක්ෂණ මඟින් ද දත්ත රැස් කර ගන්නා ලදි. එසේ රැස් කර ගත් දත්ත විමර්ශනයේ දී මෙම ඇදහීම බිහිවීම උදෙසා වැඩි දායකත්වයක් සිංහල සමාජයෙන් ලැබී ඇති බව දක්නට ලැබුණි. සිංහල හා ආදිවාසි ජනයා අතර පැවති ඇදහිලි විශ්වාසයන්හි එකතුවෙන් මෙම යාතුකර්මය බිහිව ඇති බවත්, මෙම යාතුකර්මයේ මූලාශ්‍රය ආදිවාසී ජනයාගෙන් බිහි වූවක් නොවන බවත් දක්නට ලැබුණි.