Abstract:
අතීතයේ පමණක් නොව නූතනයෙහි ද කලාකරුවා ස්වකීය නිර්මාණකරණයේ දී මිනුම් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරයි. ඒ සාර්ථක නිර්මාණයක් බිහි කිරීමට නම් මිනුම් ප්රමුඛ දායකත්වයක් උසුලන බැවිනි. අතීතයේ භාවිත මිනුම් පිළිබඳ යම් අධ්‍යාශයක් ගොඩනඟා ගත හැකි වන්නේ පුරාවිද්‍යාත්මක සාධක මගිනි. එසේ නොමැති නම් ම.භා.වා.ශා. වැනි ලිඛිත මිනුම් සිද්ධාන්ත සංග්රහයන්ගෙනි. එහෙත් පුරාවිද්‍යාත්මක සාධක නොමැති ව ලිඛිත සිද්ධාන්තයන්ගෙන් පමණක් එකී මිනුම් කලාකරුවා භාවිත කළ බව සනාථ කර ගත නොහැකිය. කෙසේ වුවත් පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ මිනුම් පිළිබඳ අධ්‍යයනයේ දී සනාථ වූයේ සංරක්ෂණය කිරීම්, ප්‍රතිසංස්කරණය කිරීම් හා කලා නිර්මාණ, ගොඩනැගිලි ආදියෙහි බොහෝ කොටස් විනාශ වී යාම් ආදිය නිසා ලිඛිත සිද්ධාන්තමය මිනුම් ඍජුව පුරාවිද්‍යාත්මක සාධක සමග සැසඳීමෙන් විවිධ ශංකාවන් උත්පාදනය වන බවයි. මෙම ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ම.භා.වා.ශා. කෘතියෙහි දර්ශිත ෂඩ් වර්ගය දායක කර ගත හැකි ද යන ප්‍රධාන පර්යේෂණ ගැටලුව ඔස්සේ මෙම පර්යේෂණය මෙහෙය වේ. ෂඩ් වර්ගය යනු ගණිතමය සූත්‍ර සයක් භාවිත කරමින් යොදාගනු ලබන මිනුම් ඒ ඒ ගොඩනැගිලි සඳහා පරමාර්ථමය වශයෙන් යෝග්‍ය වේ ද යන්න පරීක්ෂා කරනු ලබන ක්රමවේදයකි. මෙහි දී පුරාවිද්‍යාත්මක වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, අනුරාධපුර යුගයට අයත් ආරාම නෂ්ටාවශේෂයන්හි ක්ෂේත්රඵලය හෙවත් වර්ගඵලය ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් ලබාගෙන ඉහත කී ගණිතමය සූත්‍රයන් සමගින් සැසඳීම මෙහි පර්යේෂණ ක්රමවේදයයි. එසේ ම ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් මඤ්ජුශ්රීභාෂිතවාස්තුවිද්යාශාස්ත්රය ද පුස්තකාල පරිහරණය, අන්තර්ජාල පරිහරණය මගින් දත්ත සංග්‍රහ කෙරේ. යෝනි, නක්ෂත්ර, අය, ව්‍යය, අංශක හා වාර යන ගෘහයක් නිර්මාණයේ දී භාවිත කළ යුතු මෙම ෂඩ් වර්ගය ලෝකෝත්තර අරමුණු සාධනය වෙනුවෙන් ආරාම ගෘහයන් නිර්මාණයට උපයෝගී කරගෙන ඇතැයි යන උපකල්පනයත් එමගින් ආසන්න වශයෙන් හෝ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි භාවිත මිනුම් නිවැරදි ව සනාථ කරගත හැකිය යන විශ්වාසයෙන් මෙම පර්යේෂණය සිදුකෙරෙන අතර මෙම පර්යේෂණය සාධනය වුවහොත් එය පුරාවිද්‍යා ක්ෂේත්රයට මෙන් ම නූතන ආරාමකරණයටත් අතිශය වැදගත් වේ.