Abstract:
නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ප්‍රධානතම ගැටලුවක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවද මෙම ගැටලුවට මුහුණ දී ඇත. මක්නිසාදයත් සීඝ්රයෙන් වර්ධනය වන ජනගහනය සහ නාගරීකරණය නිසාය. නාගරික ඝන අපද්‍රව්‍ය උත්පාදනය වීම සිදු වන්නේ ප්‍රජාවගේ ඍජු දායකත්වය නිසාය. එමනිසා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ප්‍රජාවගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. නමුත් ප්‍රජාව සෑමවිටම උපකල්පනය කරනුයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය රජයට අයත් වගකීමක් බවත් ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය අනවශ්‍ය බවත්ය. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ මහ නගර සභාව කේන්ද්‍ර කොටගෙන සිදු කර ඇති අතර මේ සඳහා ප්‍රාථමික දත්ත භාවිතා කර ඇත. සරල සසම්භාවි නියැදුම් ක්‍රමය යටතේ තෝරාගත් නිවාස 100ක් ආවරණය කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. ගෘහස්ත මට්ටමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ප්‍රජා සහභාගිත්වය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රශ්නාවලියක් සමඟ සමීක්ෂණයක් භාවිතා කරන ලදී. මෙම අධ්‍යයනයේ අරමුණ වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වයට බලපාන සාධක මොනවාද යන්න හඳුනා ගැනීමයි. මේ සඳහා සාධක විශ්ලේෂණය සිදුකොට ඇත. එහිදී ලැබුණු ප්‍රතිඵල වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වයට බලපාන සාධක ලෙස ඝන අපද්‍රව්‍ය නැවත භාවිතා කිරීම, ඝන අපද්‍රව්‍ය අවම කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය, ඝන අපද්‍රව්‍ය මගින් ආර්ථික ප්රතිලාභ ලැබීම, ඝන අපද්‍රව්‍ය එකතු කිරීම හා බැහැර කිරීම සහ කොම්පෝස්ට්කරණය කිරීම පෙන්වා දිය හැකි බවයි.