Abstract:
වර්තමාන ගෝලීය ආර්ථික සන්දර්භය තුළ විදේශ ප්‍රේෂණ ප්රවාහයන් ලෝකයේ බොහෝ අඩු දියුණු රටවල නිරන්තරයෙන් වර්ධනය වන මූල්‍ය ප්‍රවාහයක් ලෙස පෙන්වා දිය හැකිය. ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා සීඝ්‍ර වර්ධනයක් රජය විසින් ඉලක්ක කර ඇති නමුත්, වසංගතය මෙන්ම එය පාලනය කිරීම සඳහා පැන වූ සීමාවන් හේතුවෙන් ලොව පුරා ආර්ථිකයන්ගේ වර්ධනය පහත වැටුණු අතර ශ්‍රී ලංකාවටද ඉන් අත්මිදීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශ කරයි.
එබැවින් මෙම තත්ත්වය හමුවේ රට තුළ තිරසාර වර්ධන වේගයක් පවත්වා ගැනීමට නම් රටෙහි සියලුම සම්පත් උපරිම ප්‍රයෝජන ගත යුතුය. සේවා නියුක්ත ජනගහනයේ කොටසක් වන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනු ලබයි. අධ්‍යයනයේ වැදගත්කම වන්නේ දැනට ලංකාවේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හඳුන්වා දිය හැකි හොඳම ක්‍රමය හඳුනාගෙන, ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා හැකි හොඳම ක්‍රමය ලෙස විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හඳුන්වා දීමයි.
ඒ අනුව පර්යේෂණ ගැටළුව වන්නේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වර්ධනයට බලපෑම් ඇති කරනු ලබන්නේ කෙසේද? යන්නයි. ඒ යටතේ විදේශ විනිමය අස්ථාරත්වයට විසඳුම් ලෙස විදේශ සේවා නියුක්ති ප්රේෂණයන්ගේ මැදිහත්වීම කෙසේද? යන උප ගැටලුවද යොදා ගන්නා ලද අතර එහිදී ප්‍රධාන පර්යේෂණ අරමුණු වූයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වර්ධනයට බලපෑම් ඇති කරනු ලබන ආකාරය පිළිබඳව සොයා බැලීමයි.
ලංකාවේ දැනට පවතින ඩොලර් හිඟය නිසා ආනයනකරුවන්ට මෙන්ම විදේශ අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිපදවන නිෂ්පාදකයන්ටද විශාල බලපෑමක් දැනටමත් සිදුවෙමින් තිබේ. රුපියල් අච්චු ගසා මෙම ප්‍රශ්නයට පිළියම් යෙදිය නොහැකි අතර මෙයට ඇති පිළියම වන්නේ විදේශ විනිමය වියදම් තවදුරටත් සීමා කිරීමත් හා විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමත් වේ. මෙම පර්යේෂණය මගින් ඔප්පු කරන ලද්දේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් මෙම ඩොලර් හිඟයට විසඳුම් ලබා දිය හැකි බවයි.
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, විශේෂයෙන්ම, පහළ සහ මැදි ආදායම් ලබන ශ්‍රී ලංකාව වැනි රටවලට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි නිත්‍ය ප්රතිලාභ අත්කර දෙන බවත්, සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලබන්නන්ගේ ආදායම් ඉහළ නැංවීමට උපකාරී වෙමින් ඉහළ සාධනීය බලපෑම් ඇති කරන අතර, ප්‍රේෂණ ලැබෙන රටෙහි විදේශ විනිමය සංචිත වැඩිදියුණු කිරීමට ද දායක වනවා වගේම විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, ආර්ථික අර්බුද අවස්ථාවලදී සහ ස්වාභාවික උපද්‍රවවලින් පසුවද රක්ෂණයක් ලෙස කටයුතු කරන බවයිග ද්විතියික දත්ත මත පදනම්ව පමණක් පර්යේෂණය කිරීමට සිදු වීම මෙහි ඇති එකම සීමාකාරී සාධකය විය.