Abstract:
සමාජයක පවතින සම්මතයන් උල්ලංඝනය කිරීමක්, නොතකා හැරීමක් හෝ ඉක්මවා යාමක් සමාජ සදාචාරය ව්‍යාකූල වීමකි. එවන් එක් අර්බුදකාරී සමාජ ප්‍රවේශයක් ලෙස මත්ද්‍රව්‍ය හැඳින්විය හැකිය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය (NDDCB) සඳහන් කරන පරිදි, වසංගතමය තත්ත්වයක් දක්වා වර්ධනය වූ මත්ද්‍රව්‍ය භාවිතය කෙරෙහි, මත්ද්‍රව්‍ය ආශ්රිත නූතන ප්රවණතා සහ ඒ ආශ්රිත උපනතීන් ඍජුවම බලපෑම් කරනු ලබයි (NDDCB, 2016). මත්ද්‍රව්‍ය සමාජගත වීමේ විවිධ පැතිකඩයන් බොහෝ පර්යේෂණ වාර්තා තුළින් හෙළි කළද, පුද්ගලයෙක් ඊට යොමුවීමට බලපාන හේතු සාධක පිළිබඳව අධ්‍යයනය කිරීමේ විශාල අඩුවක් දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය සමාජගත වීමට බලපාන සාධක කෙරෙහි අවධානය යොමු කිරීම, ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවන අපචාර ක්‍රියාවන් වැළැක්වීමට නිසැක පිටිවහලක් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිලිබඳ සංවිධානය (UNODC) සඳහන් කරන පරිදි 2020 වසර තුළ ලොව පුරා මිලියන 275ක ජනතාවක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අතර, මිලියන 36කට අධික පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත ආබාධවලින් පීඩා විඳිති (UNODC, 2011). ලෝකයේ වැඩි දෙනෙක් භාවිතා කරන මත්ද්‍රව්‍යය ගංජා වන අතර, එය ප්‍රමාණාත්මකව මිලියන 200කි (Elflein, 2021). NDDCB (2020) අනුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සදහා අත්අඩංගුවට ගනු ලැබූ මුළු පුද්ගල සංඛ්‍යාව 2018 වර්ෂය හා සසඳන කළ, 10%ක අඩුවීමකි. මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාවෙන් 55%ක බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. 2019 වර්ෂයේදී මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාවෙහි ප්‍රවණතාවය වයස අවුරුදු 15 - 64 අතර ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට පුද්ගලයන් 439 දෙනෙකි (NDDCB, 2020).
මතින් නිදහස් රටක් සඳහා වූ ඉදිරි දැක්ම යාවත්කාලීන කිරීම උදෙසාත්, ගෝලීය වශයෙන් මානව වර්ගයාගේ ප්රගමනයට හිතකර ජීවන වටපිටාවක් බිහි කිරීමෙහි ලා උපයුක්ත කොට ගන්නා තිරසාර සංවර්ධන ඉලක්ක අතරින් තෙවැන්න වන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ මානව යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යටතේ, පස්වැනි උප ඉලක්කය වන මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි භාවිතය වැළැක්වීමත්, ඊට අනුබද්ධිත ප්‍රතිකාර ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් සඳහා සමාජ පර්යේෂණ ක්ෂේත්රය ඔස්සේ ඉටුකළ හැකි වගකීම පුළුල් පරාසයක් තුළ විහිදී පවතී. ඒ සඳහා වන මූලික අඩිතාලමක් ලෙස මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට බලපාන සාධක සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ප්රවණතා හඳුනා ගැනීම වැදගත් වනු ඇත.