Abstract:
මත්ද්‍රව්‍ය යනු කිසිවිටෙකත් මිනිසා විෂයයෙහි යහපත් බලපෑමක් ඇති කරන ප්‍රස්තුතයක් නොවන අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ මෙය විශාල සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ මත්ලෝලීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු වීමට බලපාන සාධක, භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් හඳුනා ගැනීම සඳහා කාලීන අවශ්‍යතාවයක් වශයෙන් මෙම පර්යේෂණය සිදු කරන ලදී. 2011-2020 දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත්කොට ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම්, බන්ධනාගාර ගතවීම් සහ පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමුවීම් යන නිර්ණායක මත පදනම්ව ද්විතියික දත්ත ඇසුරින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයෙහි අවකාශීය ව්‍යාප්තිය සහ උපනතීන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විස්තරාත්මක සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රම භාවිතා කරන ලදී. පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමු වී සිටින රැඳවියන් ඇසුරින් ප්‍රශ්නාවලියක් භාවිතා කොට ලබාගත් ප්‍රාථමික දත්ත භාවිතයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමට බලපාන සාධක හඳුනාගැනීම සිදු කරන ලදී. බාහිර බලපෑම, පාරිසරික බලපෑම, සමාජයීය බලපෑම, මානසික බලපෑම, අන්තර් පුද්ගල බලපෑම සහ කුටුම්භ බලපෑම යන සාධක පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි කරවීමට සමත් බව සාධක විශ්ලේෂණය තුළින් හඳුනාගත හැකි විය. ශ්‍රී ලංකාව තුළ ගංජා භාවිතය අභිබවා හෙරොයින් මත්ද්‍රව්‍ය ජනගත වී ඇති බව අධ්‍යයනය තුළින් පැහැදිලි වන අතර 2020 වර්ෂයේ හෙරොයින් වැරදි සඳහා 53% ක්ද, ගංජා ආශ්රිත වැරදි සඳහා 42% ක්ද අත්අඩංගුවට පත් වූ අතර සමස්තයෙන් 42%ක බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා විය. 2019 වර්ෂය හා සැසඳීමේ දී 2020 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සඳහා බන්ධනාගාර ගතවීම 32%කින් අඩුවී ඇති අතර පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමුවීම 54%කින් අඩුවී ඇති බව අධ්‍යයනය තුළින් හඳුනාගත හැකි විය. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර බහුවිධ මත්ද්‍රව්‍ය භාවිතය පොදු ප්‍රවණතාවක් වශයෙන්ද, සියලුම වැරදි අතරින් මත්ද්‍රව්‍ය වැරදි ප්රමුඛ වන බවද හඳුනාගත හැකි විය. ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා ව්‍යාප්තිය අවම කිරීමෙහි ලා ඊට අනුබද්ධිත නීති රීති හා දණ්ඩන දැඩි කිරීම යථොක්ත නීතිමය පසුබිම තුළ අධ්‍යාපනික සහ ආගමික වශයෙන් සමාජ උපදේශනයේ අවශ්‍යතාවයත් නිර්දේශ කළ හැකිය.