Abstract:
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධිය දක්වා විහිදෙන්නා වූ විහාර ආරාම නිර්මාණයේ ආරම්භය විවිධ යුග පරාසයන් රැසක් පසුකරමින් වර්තමානය දක්වා විකාශනය වී ඇත. අනුරාධපුර රාජධානිය පිහිටුවීමටත් පෙර සිට ලංකාවේ ජනයා ආගමික කටයුතුවල නිරන්තරයෙන් නියුතු වී සිටි බවට බොහෝ සාධක සෙල්ලිපි ආශ්රයෙන් හමුවී ඇත. මේ සමඟ ම නිර්මාණය වූ විහාර සංකල්පය හා ඒ ආශ්රිත අවශේෂ කලා නිර්මාණ කෘති ඉතා සුවිශේෂි ස්ථානයක් හොබවනු ලැබේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම නිසා දියුණුවට පත් අංශයක් ලෙසට ගෘහ නිර්මාණ හා චිත්‍ර කලාව හැඳින්වීම හැකිය. මෙලෙස නිර්මාණය වූ ගෘහ නිර්මාණ හා චිත්‍ර විවිධ යුග පසු කරමින් විවිධ ප්‍රතිසංස්කරණයන්ට මෙන්ම විවිධ සතුරු උපද්‍රවයන්ට නතු වෙමින් මේ දක්වා විකාශනය වී තිබීම හඳුනාගත හැකිය. මෙම ලිපියෙහි මුඛ්‍ය අරමුණ වන්නේ කොටියාගල, වත්තේගම පුරාණ රජමහා විහාරයේ හඳුනාගත හැකි අස්පර්ෂිත උරුම පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීමයි. මෙහි පර්යේෂණ ක්‍රමවේදය වශයෙන් සාහිත්‍ය මුලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර භාවිතය මෙන්ම මානව විද්‍යාත්මක මූලාශ්‍ර භාවිත කරනු ලැබේ. විහාර ආශ්‍රිතව නිර්මාණය වූ ගෘහ නිර්මාණ හා චිත්‍ර කලාව මඟින් පිළිබිඹු කරන ශ්‍රී ලාංකීය ජනයාගේ අන්‍යතාවය අනාගතය උදෙසා රැකගැනීමේ අවශ්‍යතාවය හඳුනාගත හැකිය. වර්තමානයේ බෙහෙවින් කැපීපෙනෙන සදකඩපහණ, මුරගල, මකර තොරණ, පනේල චිත්‍ර, පිළිම නෙළීමේ කලාව විවිධ ආකාරයෙන් විකාශනය වී තිබේ. බුදු දහම පොදු ජනතාව අතරට රැගෙන යාම පිණිස උපයෝගී කරගත් මෙම කලා නිර්මාණ බුද්ධ චරිතය, බෝසත් චරිත කථා මෙන්ම ශාසන ඉතිහාසය යන අංශ පිළිබඳව පු`ඵල් අවබෝධයක් පහසුවෙන් ම ලබා දීමට යොදාගෙන ඇත. කලා රසය මෙන්ම ඉපැරණි කලා නිර්මාණ ශිල්පියා සතු දක්ෂතාවය පිළිබිඔු වන්නා වූ සංස්කෘතික අංශ ආරක්ෂා කිරීමත් එම නිර්මාණ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමත් ලෝක ප්රජාවන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් වේ.